Tuesday, November 13, 2018

අතීතය රත්තරං

ආයෙමත් අතීත කතාවක්.... අතීතය ආයෙ ආයෙමත් සිද්ද වෙනව කියල කතාවක් තියෙනවනෙ.ඒක ඇත්ත.සමහර විට ආයෙ සිද්ද වෙද්දි සිදුවීම් වෙනස් වෙන්න පුලුවන්.නමුත් සමස්ථයක් විදියට අතීතය ආයෙ ආයෙමත් සිද්ද වෙනව..ඉතිං කතාව මෙහෙමයි....,
        පහ වසරට යනකම් මං ඉස්කෝලෙ ගියෙ ලගම නගරයේ තිබ්බ ප්‍රාථමික පාසලට.ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සෙ පහ වසරෙ හිටපු අපිට ලොකුවට උගන්නන්න ගුරුවරු මහන්සි ගත්තෙ නෑ.එක දිගට අවුරුදු දෙකක් විතර මහන්සි වෙලා ශිෂ්‍යත්වෙ ලියපු තෙහෙට්ටුව යන්නත් එක්ක එයාල එහෙම හිතන්න ඇති.ඉතිං ලැබෙන හැම ඉඩකම අපි එළියට ඇවිත් සෙල්ලම් කලා.පංති භේදයක් නැතුව හැමෝම එකතු වෙලා සෙල්ලම් කරපු එකේ  ප්‍රතිඵලය උනේ නිවාඩු දවස් වලටත් එකතු වෙලා සෙල්ලම් කරන පිරිසක් බිහි වෙච්චි එක..ගෙවල් වලින් ඉල්ලන් එන රුපියල් පහ දහය දාල පුංචි කුසලානෙකුත් අරන් කණ්ඩායම් දෙකකට බෙදිල ටවුම මැද තිබ්බ පිට්ටනියෙ නිවාඩු දවස් වලට අපි සෙල්ලම් කලා.
        මෙහෙම ටික දවසක් සෙල්ලම් කරද්දි තමයි මට තේරුණේ මං ඉන්න පැත්ත හැමදාම පරාදයි.බෝල දාන්නත් හම්බෙනව, බැට් කරන්නත් හම්බෙනව, ඒත් පරාදයි.... පස්සෙ තමයි  මං තේරුම් ගත්තෙ කණ්ඩායම් දෙක බෙදුනෙ එතන හිටි එකෙක් දෙන්නෙක්ගෙ උවමනාවට මිසක් සාධාරණ විදියකට නෙවෙයි කියල.හොදට සෙල්ලම් කරන්න පුලුවන් අය එක පැත්තකට ඇවිත් බැරි අය අනිත් පැත්තට දාල සෙල්ලම් කරද්දි පරදින එක අහන්න දෙයක්යැ 😀
            පහ වසරෙන් පස්සෙ ප්‍රාථමික පාසලේ හිටි මිතුරන් බොහෝ දෙනෙක් එක්ක උසස් පාසලට මමත් යනව.උසස් පාසලේ පංතියත් අරුම පුදුම පංතියක්.ශිෂ්‍යත්ව විභාගෙ සමත් වෙච්චි ලමයි ඔක්කොම එකට දාල හදල තිබ්බ පංතියෙ පිරිමි ලමයි තිස් පහයි.ගැහැනු ලමයි දහ තුනයි.පිරිමි ලමයින්ගෙන් ක්‍රිකට් ටීම් තුනක් හදන්න මදි උනේ එකෙක් විතරයි...හය වසරෙ ගෙවිච්ච අවුරුද්දම ගෙවුනෙ අලුතින් මුණ ගැහුණු අය අදුන ගන්න...යාලු වෙන්න..හත වසර වෙද්දි අපි ටික ඔක්කොම යාලුවො.හත වසර වෙද්දි උසස් පෙල ශිෂ්‍යයො වාර්ශිකව සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියකට අපේ පංතියෙනුත් කණ්ඩායමක් ඉදිරිපත් කරන්න තීරණය වෙනව.දැන්.. උහතෝකෝටික ප්‍රශ්නය මතු වෙනව.තිස් පහෙන් පහලවක් තෝරගන්න!
             කොහොමද මේ වැඩේ කරන්නෙ කියල කතා වෙද්දි පහ වසරෙදි සිද්ද උනා වගේ වැඩක් ආයෙත් වෙනව.කෙනෙක් දෙන්නෙක් මුල් වෙලා එයාලට වැඩියෙන්ම හිතවත් පිරිස දාල කණ්ඩායම අටවනව.මේ වැඩේට මධ්‍යස්ථව හිටපු බොහෝ දෙනෙක්ගෙ හිත සතුටු නෑ.කණ්ඩායමේ ඉන්නම ඕනි කියල විශ්වාස කරපු දෙතුන්දෙනෙක් ම එළියෙ.
             අපිට ඕනි වෙනව එළියෙ හිටපු අයටත් යමක් කමක් කල හැකියි කියල පෙන්නන්න.ඉතිං එළියෙ හිටි අය එකතු වෙලා තවත් කණ්ඩායමක් හදනව.මේක පෙරලියක් කියල දැනුන ගමන් මුලින් නම් කල කණ්ඩායමේ හිටි දෙන්නෙකුත් දෙවෙනි කණ්ඩායමට එකතු වෙනව.හරියට මේ දවස් වල දේශපාලනේ වගේ.දෙවෙනි කණ්ඩායමේ හිටි මටත් ඒක ලොකු හයියක්.දවසක් යොදාගෙන අපි දෙගොල්ලො තරගයක් තියනව.මුල් කණ්ඩායමෙන් අපට එකතු වෙච්චි දෙන්න දක්ශයො නිසා ඒ දෙන්නට තමන් කැමති තැන පන්දුවට පහර දෙන්නත් කැමති පන්දු වාරයක් යවන්නත් අවස්ථාව ලැබෙනව.මුලු ලකුණු දහය පනිද්දි අර කියපු දක්ෂයො දෙන්නම දැවී ගිහින්.වැඩක් නැති අය කියල පස්සට කරපු සමහරු කවුරුවත් හිතපු නැති තරම් විශාල පහරවල් වලින් ලකුණු ලබනව.ප්‍රතිඵලය ජයග්‍රහනය!!!
             දැන්, මුලින් දැන ඇදුනුම් කම මත තෝර ගත්තු කණ්ඩායම වෙනස් කරන්න කණ්ඩායම  තෝරගත්තු අයටම සිද්ද වෙනව.හරියන්නෙ නෑ කියල පැත්තකට කරපු සමහරුන්ට උද්දෘත ලියලම කණ්ඩායමට ඇතුල් කරගන්න අර අයට සිද්ධ වෙනව.කතාව ඕකයි.

මට මේ අතීත කතාව ආයෙමත් මතක් උනේ මේ දවස් වල මුහුණ දෙන කාරණා නිසා.........අතීතය ආයෙ ආයෙමත් සිද්ද වෙනව.සිද්දි විතරයි වෙනස්.සමස්ථය එකයි.ඉතිං මේ කතාවෙ අවසානෙ වෙනකන් මං බලන් ඉන්නව.පරදින එක,පරද්දන එක දුකක්නෙ.මං තවම පෘත:ජනයි.ඒකයි

No comments:

Post a Comment