Thursday, October 19, 2017

රන්දී - පියවර 11

"ප්‍රොමිස් අනේ.. මොනව උනත් අපි හොද යාලුවොනෙ.යාලුවන්ගෙ දේවල් යාලුවො එක්ක කතා කරන්නෙ නැතුව වෙන කා එක්ක කතා කරන්නද..."
ඉන්දුගේ කතාව එක අතකට නිවැරදිය.අනවශ්‍ය දේවල් ඔලුව තුල පුරවා ගත් විට අවශ්‍ය දේවල් දමා ගැනීමට නොහැකිය.එනිසා අසා සිටීමෙන් ඉන්දුලාට කිසි වැඩක් නොවෙතත් මගේ කතාවට මුල පිරුවෙමි.

"දන්නවනෙ ඉන්දු අපේ තාත්ත තීන්ත බාස්.තාත්තගෙ පඩියෙන් තමයි අපි හතර දෙනාම ජීවත් වෙන්නෙ.ඒත් ඉතිං තාත්තට හැමදාම වැඩ හම්බවෙන්නෙ නෑනෙ.අපෙ ආච්චියි සීයයි මැරුණට පස්සෙ තාත්තට මහ ගේ අයිති උනා.මහ කිවුවට ඒක බොහොම පුංචි ගෙයක්.වැටිල ඉන්න තැනක් තිබ්බට අනිත් දේවලුත් සම්පූර්ණ වෙන්න එපැයි ජීවිතේ හොද වෙන්න.තාත්තට වැඩ නැති දවස් වලට අපේ වියදම් වලට මාර ගේමක් ගහන්න ඕනි.සමහර දවස් වල ක්ලාස් පීස් ගෙවන්නෙ වත්තෙ හැදෙන කෙසෙල් කැනක් එළවලු ටිකක් විකුනල.නෑදෑයො කියල ඉන්න එවුන්ගෙන් සත පහක වැඩක් නෑ.ඕව නිසා හොදට ඉගෙන ගන්න පුලුවන් අක්ක එකපාරක් උසස් පෙල ලියල රස්සාවක් හොයා ගත්ත."
    "මේව දැන දැනම මං තවත් ඉගෙන ගන්න වියදම් කරන එක මගේ හිතට පුදුම අවුලක් තියෙන්නෙ.මේ දේවල් තුෂාරයට ගයානයට කියලවත් හිත නිදහස් කරගන්න මං ට්‍රයි කලේ නෑ.උන් උනත් මගේ දිහා අසරණෙක් දිහා බලනවට මං කැමති නෑ..."
මං ඔහේ කියවාගෙන ගියෙමි.අඩු තරමේ පැය බාගයක් වත් මං එසේ කියවන්නට ඇත.ඉන් පසු කාලයක් පුරා පුපුරු ගසමින් හිත තුල තිබූ සියලු දේ රන්දීටත් ඉන්දුටත් රහසක් නොවීය

"එතකොට අක්ක දැන් මොකක්ද කරන ජොබ් එක?"   
 මගේ කතාවට මොහොතක් වික්ෂිප්ත වී සිටි රන්දී විමසුවාය
"ටවුමෙ පොත් කඩේක වැඩ කරන්නෙ.පලවෙනි පාර රිසල්ට් එකෙන් උනත් එයාට හොද ජොබ් එකකට යා ගන්න පුලුවන්.ඒත් ඒ වෙනකන් කීයක් හරි හම්බකරන්න ඕනි කියල එයා වැඩට යනව.හම්බෙන පඩියෙන් එයාගෙ වියදමට අරන් මටත් කීයක් හරි දීල ඉතුරු වෙන්නෙ කීය උනත් අම්මගෙ අතට ගෙනත් දෙනව වියදමට.ඒත් අම්ම සතයක් වත් වියදම් නොකර අපිට බෑන්ක් එකවුන්ට් හදල ඒවට සල්ලි දානව.කවදාම හරි දවසක ඕනි වෙයි කියල."

"මට මේව උඹලට කියන්න ලැජ්ජ නෑ.කාටවත් මගේ ප්‍රශ්න නොකිය ඉන්න හිතං හිටියට ඒ දේවල් කාට හරි කියල හිත නිදහස් කරගන්න එක ඊට වැඩිය හොදයි.අපේ අම්ම අපිව ජීවත් කරවන්න දගලන හැටි දැක්කම මට මේ හැම දේම දමල ගහල ගිහිං රස්සාවක් කරන්න හිතෙනව.උදේ පාන්දරම ඇහැරගෙන තාත්ත එක්කඑකතඅ වෙලා කඩයප්පං හදල කඩ ගානෙ හිගින් විකුණගෙන එන ඒ දෙන්න අපිට කවදාකවත් අඩුපාඩුවක් තිබ්බෙ නෑ.එයාල නොකෑවත් මටයි අක්කටයි කන්න දුන්න.මට ඒව ඉවසන් ඉන්න බෑ.අපි වෙනුවෙන් අම්මයි තාත්තයි විදින දුක ඇත්තට ම මට දරා ගන්න අමාරුයි."
                          "උඹල මේව ඇහුවම පුදුම හිතෙයි.හරියට පරණ නවකතාවක් වගේ කියල.ඒත් තවම එහෙම මිනිස්සු ඉන්නව."
       "මට පලවෙනි පාරෙන් ගොඩ යන්න පුලුවන් වෙයි කියල මං හිතන්නෙ නෑ.කොහොමටත් ඒකට වග කියන්න ඕකි මමම තමයි.මෙච්චර කට්ටක් කාල මාව ඉස්කෝලෙ යවන පංති යවන අම්මයි තාත්තවයි  අමතක කරල පහු ගිය කාලෙ පිස්සු නටපු හන්ද විභාගෙ ෆේල් උනාම මට මැරෙන්න හිතෙයි...."

"ඔයාලට ගොඩ යන්න තියෙන්නෙ ඔයාගෙ ඉගෙනීමෙන්ම තමයි රොෂාන්.ගොඩදාගනින්..ඔයිට වඩා කට්ට කාපු  එවුන් දැන් හොද තැන් වල ඉන්නෙ උන් කාපු කටු වලින් පාඩම් ඉගෙනගෙන ජීවිතේ හදාගත්තු නිසා."
   "මැරෙනව කියල නිකන් කියනකොට නම් ඒක හරි සරලයි රොෂාන්... ඒත් උවමනා උනත් උඹට එහෙම මැරෙන්න බෑ.අපි ඉපදිච්ච මේ පොලවට ණයයි බං.උ‍ඹේ දෙමව්පියන්ට අක්කට යාලුවන්ට මේ රටට පුලුවන් විදියට යුතුකම් ඉෂ්ට කරපු දවසට විතරයි ඔයා‍ෙගෙ ජීවිතේ ගැන තීරණයක් ගන්න ඔයාට අයිතියක් තියෙන්නෙ. එදාට උඹට මැරෙන්න ඕනි කියල හිතුනොත් මැරියන්...හැබැයි එතකන් උඹ ජීවත් වෙන්න ඕනි!"

ඉන්දුගේ වදන් බොහෝ වේලාවක් මා කල්පනාවේ ගිල්වීමට සමත් විය.

එතැන් පටන් මගේ හිත හැදෙන්නට ඉන්දූත් රන්දීත් බොහෝ දේ කියූවත් ඒ එකක් වත්  හිත ආසන්නයෙන් වත් ගියා දැයි විශ්වාස නැත.
විවේක කාලය සදහා සීනුව නාද කල පසු පරික්ෂණ සදහා විද්‍යාගාරය වෙත ගොස් සිටි මිතුරන් අපසු පැමිණියෝය.එතැන් පටන් මම ඔවුන් සමග ක්‍රිකට් ගැසුවෙමි.ක්‍රීඩාව අවසානයේදී පයිප්පය අසල අපි හැම දොනාම පොරකන්නට වූයේ දහඩිය සෝදා ගන්නටය.ඉඩ ලද සැනින් අවශ්‍යතාවය සපුරා ගත් මා පසෙකට වුනෙමි.මිතුරන්ද හිසේ සිට ගලාගෙන ආ දහදිය සෝදාගෙන මා අසලට පැමිණියේය.

"ඒයි හුඩා.... දන්නවද වැඩක්???"
 අරුණ බැරෑරුම් කමක් ආරූඩ කර ගනිමින් පවසන්නේ ව්‍යාජ දෙයක් නොවන බව අත්දැකීමෙන්ම අප දැනන් සිටියෙමු.
"මොකක්ද බං?"

"තම්බියගෙ කෙල්ලට ප්‍රේමාලෝකෙ එකෙක් කෝචොක් පාරක් දාලලු."

වාණිජ අංශයෙන් ඉගෙනුම ලැබූ සෆ්රාස් ට කවුරුත් කීවේ තම්බියා කියාය.අපේ පාසල තිබූ නගරයේම පිහිටා තිබූ සහෝදර පාසලකට ප්‍රේමාලෝකය යැයි නම පටබැදී තිබුණේ සැබෑ නම මදක් වෙනස් කරමිනි.කිසි දිනයක එම පාසලේ සැබෑ නම භාවිත නොකල අප  එය හැදින්වූයේ ප්‍රේමාලෝකය නමිනි.
"මොකද කරන්නෙ? අදම ගේමක් දෙනවද ඌට?"
පෞද්ගලික තරහක් නැතත් මට ප්‍රේමාලෝකයේ ඉගෙන ගන්නා උන් වහ කදුරු මෙන් වූයේ විදුහල් දෙක අතර තිබූ තරගය නිසා ය.එය භෞතිකව පෙනෙන්නට තිබූ තරගයක් නොවුනත් අධ්‍යාපනයෙන් හෝ ක්‍රිඩාවෙන් අප අභිබවා නොයන තැනට අප හැම විටම කටයුතු කලෙමු.එනිසා සිසුන් අතර සෑම විටම සීතල තරගයක් ඇති වී තිබුණි.
"මොන කතාද ඔන්න කොමස් එකයි ආට් එකයි දැනටම රෙඩි."    සහන්ද කතාවට හවුල් විය.
"අපරාදෙ බං.. අද අපේ කට්ටියත් නෑ.... මුලු සයන්ස් එකටම ඉන්නෙ අපි ටික දෙනා විතරයි...මොනව කරන්නද ඉතිං..යමං හවසට"
මගේ කතාව සියලු දෙනා හිස සලා අනුමත කලෝය.

No comments:

Post a Comment