Sunday, May 21, 2017

අපි කොයිබටද?



ජනමාධ්‍ය හා වගකිවයුත්තන් විසින් කුමක් පැවසුවද උතුරේ යමක් සිදු වෙමින් පවතී.ත්‍රස්තවාදීන් යුධමය වශයෙන් පරාජය කර ගෙවුනු වසර 05ට වඩා මෙවර දිවයින පුරා ත්‍රස්තවාදයේ හා බෙදුම්වාදයේ සෙවනැලි ඉස්මතු වෙමින් පවතී.මුලතිව් පොලීසිය විසින් තම පොලිස් බලප්‍රෙද්ශය තුල එල්ටීටීඊ සැමරුම් වලකාලමින් ලබා ගත් අධිකරණ නියොගයෙන්ම තත්වය යහපත් නොවන බව ස්වාධීනව කල්පනා කරන ඕනෑම අයෙකුට වැටහිය යුතුය.

තත්වය මෙසේ තිබියදී රජය විසින් 2009 වසරින් පසුව සෑම මැයි මසකම 18 වැනිදා උත්සවාකාරයෙන් සැමරූ විජග්‍රහනයේ සැමරුම අත්හිටුවා ඒ වෙනුවට රණවිරු සැමරුමක් මැයි මස 19 වැනිදා පවත්වන බව නිවේදනය කලේය.ඊට හේතුව ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේ විජයග්‍රහන සැමරුම නිසාවෙන් එක් ජාතියක හිත් රිදවීමක් සිදුවිය හැකි නිසා එය නවතා දමන බවයි.විජයග්‍රහන සැමරුම පිළිඹදව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය හා උතුරේ අන්ත බෙදුම්වාදී අදහස් දරන්නන්ගේ ප්‍රකාශ අතර කිසිදු වෙනස්කමක් මා නොදකිමි.කැබිනට් මාධ්‍ය ප්‍රකාශක යනු රටක ප්‍රතිරූපය පිළිබදව පැහැදිලි වගකීමක් දරන පුද්ගලයෙකි.එවැන්නෙකු විසින් කරනා මෙවැනි ප්‍රකාශ මගින් සනාථ කෙරෙන්නේ පවතින රජයද යුධ ජයග්‍රහනය සම්බන්ධයෙන් දරන්නේ එල්ටීටීඊ හිතවාදී අදහසක් බවයි.

2009 වසර වන විට ජීවත් වූ පුරවැසියන් සියලු දෙනා හට එවකට සිදු වූ යුද්ධයේ යතාර්ථය නැවත සිහි කර දීමට අවශ්‍ය නොවේ.ආරක්ෂක හමුදාවන් දිවා රෑ වෙහෙසෙමින් සියලු දේ කැපකරමින් ජීවිත පවා පුද දෙමින් නන්දිකඩාල් කලපුවෙන් මෙගොඩට ගත්තේ සිංහල මිනිසුන් නොවේ.ත්‍රස්තවාදීන් ගේ වෙඩි පහරවල් වලට මුහුණ දෙමින් තමන්ගේ අවි පසෙකට කරගෙන දැඩි ඉවසීමකින් කටයුතු කරන්නට සිදු වූයේ සාමාන්‍ය ජනතාවට කන්නට දුන් ආහාර හා බෙහෙත් සොරකම් කරමින් තමන්ගේම ජාතියේ මිනිසුන් පලිහක් කර ගත් තුච්ඡ ත්‍රස්තයන්ගෙන් ඔවුන්ගේම ජාතියේ මිනිසුන් බේරා ගන්නට මිස රටේ මහ ජාතිය වූ සිංහලයන් බේරා ගන්නට නොවේ.රටක නීත්‍යානුකූල හමුදාවක වගකීම එයයි.විපතට පත් වන්නේ තම රටේ පුරවැසියන් නම් ඔවුන්ගේ ජාතිය හෝ ආගම මත ආරක්ෂක හමුදාවන් හි ප්‍රතික්‍රියාවේ වෙනසක් සිදු විය නොහැක.ශ්‍රී ලංකාවේද සිදු වූයේ ඒ පරම සත්‍යයි.ජනාධිපති අගමැති මෙන්ම සාමාන්‍ය ජනතාවද එය තේරුම් ගත යුතුය.එසේ නොමැතිව වගකීම් රහිතව ප්‍රකාශ නිකුත් කිරීම නිසා සිදුවන්නේ යුද්ධය ක්‍රියාත්මක කෙරුනේ එක් ජන වර්ගයක් විසින් සුලුතර ජනවර්ගයකට එරෙහිව යැයි ඊලාම්වාදීන් විසින් අන්තර්ජාතිකව පතුරවමින් සිටින අදහසට නිල තහවුරුවක් ලබා දීම හැර වෙනකක් නොවේ.

බොහෝ රටවල් නිමාවක් නොදකින යුද්ධ වලට පැටලී ජීවිත හා දේපල විනාශ කරගනිමින් අතරමංවී සිටින අවධියක සංවර්ධනය නොවූ ඉතා කුඩා කොදෙව්වක ජීවත් වෙන අපි විසින් දිනා ගත් දේ සැමරීමට බලධාරීන් අදි මදි කරන්නේ ඇයි දැයි හොදින් තේරුම් ගත යුතුය.එහි ඉලක්කය ඉදිරි මැතිවරණ වල තිරණාත්මක ඡන්ද ලක්ෂ 6කි.යුධ සමයේ දිවි පිදූ 26000කට අධික වීරෝදාර රණවිරුවන් හා දහස් ගණනක් ආබාධිත රණවිරුවනුත් ඔවුනගේ පවුල් වල උදවියගේත් ආත්මයන් නිර්ලජ්ජිතව පාවාදෙමින් මේ ක්‍රියාත්මක කෙරෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකි.මේ දේශපාලනය තව නොබෝ කලකින් පෙඩරල් රාජ්‍යයද බන්දේසියේ තබා පූජා කරනු ඇත.

හෘදය සාක්ෂියක් ඇති මිනිසුන් විරුද්ධ විය යුත්තේ එයටය.කවුරුන් කෙසේ බලයට පැමිනියද යුද ජයග්‍රහනය ලැබුවේ ශ්‍රී ලංකා රජය බැව් අමතක නොකල යුතුය.ඒ ජයග්‍රහනයට උර දුන් අය ට එහි ගෞරවය හිමි වන නිසාවෙන් පරම සත්‍ය අමතක කරමින් කටයුතු කිරීම නවදා දැමිය යුතුය.එසේ කල යුත්තේ තව වසර දහස් ගණනකදී වත් නැවත එවන් ව්‍යසනයක් ඇති නොවීමට අවැසි නිසා මිස තවත් දේශපාලන පිම්මකට නොවිය යුතුය.


පසු සටහන


2017 මැයි මස 19 අලුයම මුර සංචාරයේ යෙදුනු පොලිස්  රථයක් ඉලක්ක කර ගනිමින් යාපනය පලෛ ප්‍රෙද්ශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එය ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් සිදු කල ප්‍රහාරයක් බව තහවුරු කරගෙන ඇත.
www.hirunews.lk/161656/police-vehicle-shot-in-pallei-photos

No comments:

Post a Comment