Thursday, June 28, 2018

අරුමය

ජීවිතය හරි පුදුමාකාරය.විටෙක නිදහසේ ගලාගෙන යන එය තවත් විටෙක මුහුණදෙන හැල හැප්පිම් වල නිමාවක් නැත.මහා ලොකු හැලහැප්පීමක් නොමැති උවත් පාසල් අධ්‍යාපනය නිමවීමෙන් කෙටි කලකට පසු මා ඉපැයීමට යොමු වන්නේ ඉලක්කයක් නොමැතිවය.අදහස තිබුණේ වියදමට යමක් සපයා ගන්නටය.මුල්ම වැටුපෙන් පවා මට සපුරාගන්නට තිබූ අවශ්‍යතාවන් ප්‍රමාණය සීමිත විය.
            කාලය ගත වීමත් සමගම ඉපැයීමේ මාර්ගයන් වෙනස් වන්නටත් අවශ්‍යතාවයන් ඉහල යන්නටත් වූ අතර යම් කිසි තත්වයක් ගොඩ නගා ගන්නට ද හැකි විය.උපන්ගෙයින් උරුම වූ මූල්‍ය ශක්තිය ප්‍රාථමික අධ්‍යාපනයේ මැදක් වද්දී දිය වී යන්නේ දෙගුරුන්ගේ කළමණාකරනයට තිබූ දැනුමේ අග හිග කමට මිස වෙන කාරණාවකට නොවේ.එතැන් පටන් හිතවතුන්ගේ අසීමාන්තික සහයෙන් ගොඩ නගා ගත් දෙයක් බුක්ති විදිනවා හැරෙන්නට වෙනත් පහසුකම් ලබන්නට හිමිකමක් මට තුබුණේ නැත.
        වෙහෙසකර ගමනකින් පසු සියල්ල අතහැර ගෙන්දගම් පොළවේ පය ගසන්නට යන්නට මා යන්නේ මේ වසරේ මුලදීමය.මට වෙන විකල්පයන් තුබුණේද නැත.අවැසි කලමණා පුරවා ගත් මලු දෙකත් එල්ලාගෙන බස් රථයක එල්ලෙන්නට දෙතුන් වරක් උත්සාහ කරන්නට මට සිදු විය.ඒ තරම් කාලයක් ලගින් හිටි,සියල්ල බෙදා හදා ගත් මිතුරු සමූහයට සමු දෙන්නට හයියක් නොමැතිව මහා බරක් උගුරේ සිර වී ගියේය.විවාහයෙන් මාස ගණනක් ගත වුවද දෙතැනක දිවි ගෙවූ මට එළඹෙන්නට නියමිතව ඇති, බිරිද සමග එකම නිවසක කල් ගත කිරීමේ ආහ්ලාදය ඇබින්දක් වත් දැනුනේ නැත.මං ගියේ නොයා බැරි කමටමය.
          ගෙන්දගම් පොලවේ දුෂ්කරතාවය ගැන අමුතුවෙන් ලිවිය යුතු නැත.නමුත්, ඒ සිහිනයට මං ආශා වන්නට පුරුදු විය.බිරිදකගේ සෙනේහය මං වින්දේ ඇරැව්වල අහස යටදීය.ලෝකයෙන් බොහෝ දේ අහිමි වෙත්දී අත ගැසූ සියල්ල කණපිට පෙරලෙත්දීත් සිහි කල්පනාව තුබුණේ ඒ සෙනෙහසට පිං සිදු වන්නටය.දණින් වැටී සිටි මට ආපසු නැගී සිටින තෙක් බිම දිගා වෙන්නට නොදී රැකුනේ ඇයත්, දින කිහිපයක් ගත වුනු තැන ''උඹ හොදින්දැ'යි,'' අසන්නට තරම් දයාබර වූ කොළඹ අහස අමුත්තක් නොවූ මිත්‍රයකුගේත් ශක්තිය නිසාය. මං ජීවත් උනෙමි!
          මේ, හිතේ සැනසීම වැඩි කලක් රැදෙන අවධියක් නොවේ.ඉදින් ගෙන්දගම් පොළවට සමුදෙන කාලය බොහෝ ඉක්මණින් උදා විය.මේ කොදෙව්වෙන් නික්ම යන මොහොතේදී විදි සන්තාපයන් දස ගුණයකින් වැඩිව නැවත මෙහි එනවිට විදින්නට මට සිදු විය.අරුමයකි, කටුකත්වයේ සුන්දරත්වය නිම වූයේ එසේය.
     

2 comments: