Tuesday, December 12, 2017

රන්දී - පියවර 12

මිතුරන් සමග පංති කාමරය වෙත යන අතරතුර අපේ මාතෘකාව වූයේ තම්බියාට  වූ අකරතැබ්බයයි.ප්‍රේමාලෝකය අරහං වී සිටි අපි හැම විටම කල්පනා කලේ ඒ සිදුවීම පිටින් දමා ප්‍රතිවාදීන් කීපදෙනෙකුගේ කන් රත් කරන්නටය.කතා බහ නිසා ලැබූ උත්තේජනයෙන් මා ඉදිරියට පැන රංගනට ඉලක්ක කර පා පහරක් ගැසුවේ එය නොවදින සීමාවේ ඔහු නොසිටි බැව් තහවුරු කරගෙනය.සංග්‍රාමයට දැන් සිටම පෙර පුහුණු වීම් කල යුතුය!
              චරාස්......!
දකුණූ කකුල මද දුරක් එසවෙද්දීම නැගුන හඩ නිසා පහර සම්පූර්ණ කරගන්නට හැකි වූයේ නැත.මිතුරන්ගේ හූ හඩ මැද දිව ගිය මං නතර වූයේ පංති කාමර වලට එපිටින් වූ පිරිමි වැසිකිලියක් තුලය.අගල් තුන හතරකට වඩා කලිසම ඉරී ගොස් ඇත.වැසිකිලි බිත්තියට කකුලක් තබාගෙන කලිසම සකසා ගන්නේ කෙසේ දැයි මා කල්පනා කරන අතරතුර මිතුරන් එකා දෙන්නාද පැමිණ මා සමග එක්විය.කිසිවෙකුටත් සිනහව නවතා ගත  නොහැක.
අනේ පණ්ඩිත බූරු රජෝ.... පුලුවන් මගුලක් කරන්න එපැයි  සිනහව මගහරිමින් වජිර දැනමුතුකම් දෙන්නට විය.
හූ.............................!!! 
මිතුරන් සමග එක්ව සිනා සෙනවා හැරෙන්නට මටද කල හැකි අන් දෙයක් නැත.
ගේම් වලට යන්න නෙවෙයි..උඹ දැන් ගෙදර යන්නෙ කොහොමද කියල කල්පනා කරපන්.යමක් හදිසියේ කල්පනා වූවකු  මෙන් සහන් විමසයි
පොඩ්ඩක් බලපං කවුරු හරි එකෙක් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනවද කියලා..ඉන්නව නම් උගෙ ඇදුම දාගෙන ගිහින් තට්ටයට කියල මේක මහගෙන එන්න පුලුවන්
මට වෙන විකල්ප නැත.ඉරුණු කලිසමක් ඇද ගෙදර යාමටද නොහැකිය.
සහනුත් අරුණත් ගොස් ක්‍රිකට් පුහුණුවීම් සදහා පැමිණි සිසුවකුගේ පුහුණුවීම් සදහා අදිනු ලබන දිග කලිසම මා වෙත ලබා දී ඉරුණු කලිසම මසා ගන්නට තට්ටයාගේ ටේලර් සාප්පුවට ගියෝය.තට්ටයාගේ ටේලර් සාප්පුව අපට නුපුරුදු තැනක් නොවේ.පාසල් නිල ඇදුම් මසා ගන්නට හෝ වෙනත් ඇදුමක් මසා ගන්නට අවශ්‍ය වූ විට අප මෙන්ම නගරයේ බොහෝ දෙනෙකුගේ තේරීම වූයේ තට්ටයාගේ ටේලර් සාප්පුවයි.අඩු වශයෙන් සතියකට එක වතාවක් හෝ මිතුරන් සමග එතැනට ආ ගිය නිසා තට්ටයා සමග හිතවත්කමක් අපට තිබුණි.
මිතුරන් කලිසම මස්සවාගෙන එනතුරු ගොඩනැගිලි පිටුපසින් ගොස් ක්‍රිකට් ක්‍රිඩකයන් රැදී සිටි පංති කාමරය තුලට වී සිටියෙමි.
පාසල අවසානයේ අප බස් නැවතුමට එන විට සෆ්රාන් හා මිතුරන් ගොස් ගනුදෙනුව හමාර කරගෙන තිබුණි.එතැන අඩුම තරමේ පනහක් වත් ඉන්නට ඇත.කවුරුන් හෝ දහවලේදී මා මුහුණ දුන් සිද්ධිය ඔවුන්ට කියා තිබුණි.නිවසට යන තෙක් ඔවුන්ගේ මාතෘකාව වූයේ මගේ කලිසමයි.

************
එදිනට පසු මා නැවතත් පාසලට ගියේ විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට පමණි.විභාග මානසිකත්වය නිසාදෝ එදින කිසිවෙකුත් දග වැඩ වෙත යොමු වූයේ නැත.ප්‍රවේශපත්‍ර ලබා ගත් පසු ගුරුවන්ට ආචාරකර අප සියලු දෙනා නිවෙස් වෙත පිටත් වූයේ පාඩම් වැඩ අනන්තවත් තිබූ නිසාවෙනි.
සහන්ගේ නිවසට නොගොස් නිවෙසට වී පාඩම් කරන්නට උත්සාහ කලත් එය අසාර්ථක බැව් සිතුණු නිසා මා නිතර මිතුරන් සමග සහන්ගේ නිවසට වී පාඩම් කරන්නට යොමු වුනෙමි.පාඩම් කරන දිනවලදී සහන්ගේ දෙමව්පියන් අප වෙනුවෙන් කල කැපකිරීම සුලුපටු නොවීය.අප සියලු දෙනාටම ආහාර සකස් කර දී පාඩම් කර අවසන් වන තුරු නිදිමත පලවා හරින්නට තේ සකසා දෙමින් සහන්ගේ අම්මාත් තාත්තාත් නිදි වරමින් සිටියහ.
විභාගය පැවැත්වෙන දිනය ආසන්න වන්නට මගේ හද ගැස්ම වැඩි විය.කොයිතරම් පාඩම් කලත් විශය කරුණු මතකයේ නොරැදෙන්නට වූයේ මගේ යටි සිත තුල විභාගයට තිබූ බිය නිසා විය යුතුය

No comments:

Post a Comment