Friday, August 25, 2017

රන්දී - පියවර 5








සෙනසුරාදා පංති යෑමට පෙර අම්මාගෙන් මුදල් ඉල්ලා සිටියෙමි.

"අම්මේ කාඩ් එක ගන්න ඕනි..."
"කීයද පුතේ  තුන්සීයයි නේද?"
 ඈ මුදල් දමා තිබූ කුඩා ටින් බෙලක්කයෙන් ගත් නෝට්ටු කිහිපයක් සකස් කරන්නට විය.

පංති ගාස්තු තවත් රුපියල් සියයකින් ඉහල දමා ඇති බව කියන්නට මගේ හිත ඉඩ දුන්නේ නැත.තාත්තා
ගෙනත් දුන් මුදල් පංති ගාස්තු ගෙවීමට ඉතිරි කර ගන්නට ඇය ගන්නේ සුලු පටු උත්සාහයක් නොවේ.
        හිග මුදල් අම්මාගෙන් ඉල්ලනවාට වඩා. අක්කා  මාසයක් පාසා ඇය ගන්නා සුලු වැටුපෙන් මගේ වියදමට දෙන මුදලින්  පියවා ගැනීමට මම තීරණය කලෙමි.

"ආ..! බඩගින්නෙ ඉන්නැතුව මේකෙන් තේ කක් වත් බොන්න."
අම්මා තවත් රුපියල් දහයක් මට පෑවෑය.මම එය නැවතත් ඇයටම දුන්නෙමි

"ඕනි නෑ අම්මෙ.. ලොකූ දුන්න සල්ලි තියෙනව.. මං ඒවයින් තේ බොන්නම්.."
අක්කා දුන් මුදල් වලින් පංති ගාස්තු සදහා අමතරව වියදම් වෙන මුදල් හැරුනු විට තවත් ඉතිරි වන්නේ රුපියල් දෙසියයකි.මට මං ගැනම දුක සිතුනි.මගේ උසස් අධ්‍යාපනය නොවූවේ නම් අපේ පවුලට මේ තරම්ම ආර්ථික අහේනියක් නොවන්නට තිබුණි.ඉදින් මේ සියල්ල පසෙක දමා රැකියාවක් සොයා ගන්නට නොසිතුනාම නොවේ.නමුත් මගේ හීන තිබුණේ වෙනත් මාර්ගයක නිසා එවැනි තීරණයක් ගැනීමට මගේ හිත ශක්තිමත් නැත.
මිතුරන්ටද මගේ ජීවිතයේ ආර්ථික ප්‍රශ්න රහසක්ම විය.ඒවා දැන ගතහොත් ඔවුන් මට අසරණයෙකු ලෙස සලකන්නට ඉඩ ඇති නිසා මම එයට බිය වීමි.
පංතිය බලා යෑමට මා නැගි බසයටම ආසිරි ඔවුන්ගේ නිවස අසලින් ගොඩ විය.වැඩි සෙනගක් නොවූ බසයේ මගේ අසුනේ තව අයෙකුට ඉඩ තිබූ නිසා ආසිරි එතැනට එක් වූයේය.

"ගුඩ් මෝනින් හුඩා"
"මෝනිං මචං!"

"ගණන් ටික හැදුවද බං? "
"ටිකක් හැදුව බං"
 මම පිලිතුරු දුන්නෙමි
"කෙමිස්ට්‍රි ක්ලාස් එකෙයි ෆිසික්ස් එකෙයි දුන්න ටියුට් දෙක ඇල්ලුවෙ වත් නෑ බං.. මෝලේ කචල් වගේ..."
"ඕක දාපං ඇලක.ටිකක් පෙගුනම හරියයි........"  සිනහව යටපත් කරගෙන උත්තර බැන්දෙමි

"රෝෂාන්!"
"ම්හ්..."
ආසිරි මොකක්දෝ කියන්නට වෑයම් කරයි
"මචං මං ලබන සතියෙ අරකිගෙන් අහනව"
"ඔව් ඔව් ඒක හොදයි.. නැත්තම් ඕක හන්ද උඹ වැඩ ක් කරගන්නෙ නෑ.."
"බලන් හිටියොත් පරාදයි බං.. දන්නවනෙ පස්සෙන් එන සෙට් එක"

"හොදයි හොදයි උඹ සෙට් වෙලා වරෙන්කො.මං ඉන්දුට කියන්නම් ඒකිව උඹට මුණ ගස්සන්න කියලා..."

ආසිරිගේ මුහුණේ සිනා රැල්ලක් ඇදී යන සැටි මං හොරැහින් බලා සිටියෙමි.
සදුදා මම වේලාසනින් පාසලට ගියේ ඉන්දු හමු වී ආසිරි වෙනුවෙන් සැලසුමක් ඇති කර ගැනීමටය.නමුත් ඇය පාසලට පැමිණෙන විට සීනුව නාද වීමට ඉතාම ආසන්නව තිබූ නිසා පසුව වේලාවක් එන තුරු බලා ඉන්නට සිදු විය.

උදෑසන අාගමික වතාවත් ඉටු කිරීමෙන් පසු අංශ භාර ආචාර්ය වරයා දොලහ ශ්‍රේණියේ සියලුම සිසුන් විද්‍යා අංශය ඉදිරිපිට වූ එළිමහනට කැදවූයේ කෙටි රැස්වීමකටය.

"ඔයාලට පේනව ඇතිනෙ..දහතුන වසරෙ ලමයි දැන් ඉස්කොලෙ එන්නෙ නෑ.ඒ අයට ස්ටඩි ලීව් දීල තියෙන්නෙ.කොහොමටත් තව මාස කීපයකින් එයාල උසස් පෙළ ට මූණ දෙනව..... ඉතිං දැන් ඔය ලමයි තමයි ඉස්කෝලෙ ඉන්න වැඩිහිටි පිරිස.එහෙමත් නැත්නම් දහතුන වසර..."

කවුදෝ එකෙකු පටන් ගත් අත්පුඩිය මහ හඩක් නගමින් මිනිත්තු කීපයක් පැවතුණේය..

"හා හා ඇති! දැන් ඉතිං නවත්තනවලා.. ඔය මදෑ! අත්පුඩි ගැහුව වගෙම තව අවුරුද්දක් විතරනෙ තියෙන්නෙ..දැන්ම ඉදං හරියට වැඩ ටික කරගෙන යනව මිසක් අනං මනං වලට කාලෙ නාස්ති කරන්නෙහෙම නෑ හොදද..ලබන සතිය වෙනකොට දොලහ වසර පංති ටික පටන් ගන්නවා..ඒ අයටත් ආදර්ශයක් වෙන විදියට වැඩ කරන් ඉන්න.."

"හොදයි දැන් තම තමන්ගෙ පංති කාමර වලට යන්න..."

අපි උසස් පෙල ට ඇතුලත් වූ මුල් දිනය අද වගේ මතකය.ඒ දිනය පසු කර වසරක් ගත වී ඇතත් මා කල දෙයක් නැතුවා සේය.තවත් වසරකින් විභාගයට මොනවා ලියන්න දැයි කල්පනා වෙන්නේ නැත.මනස තනිකරම හිස් කරදාසියක් වාගේය.
 පංති කාමරයේ සිට තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ලේ ඉහළ ම මහලේ සිහිටි රසායන විද්‍යා විද්‍යාගාරයට යන අතරමගදී මට ඉන්දු මුණ ගැසුනි.

"ආ.... කලු මැණිකේ.... ගුඩ් මෝනිං"
"අනේ... යනව මැට්ටෝ.... ඈ මගේ උරහිසට පහරක් ගැසීය"
"මොනවද තියෙන්නේ..."
"අපිට බයෝ..ඔයාලට?"
"කෙමිට්ටි! ඒක නෙවෙයි ඉන්දු.මෙහෙ එනවකො පොඩි බඩුවක් කියන්න තියෙනවා.."
 මම ඉන්දුව පසෙකට කැදවා ගියෙමි.
"ආසිරිය රන්දිගෙන් අහන්න කල්පනාව.අද හෙට බැරිද ටයිම් එකක් දා ගන්න?"
"ම්.... ඔයාලට අද අනිතිම පීරියඩ් එක මොනාද රොෂාන්? අපිට ලයිබ්‍රි පීරියඩ් එක.. ඒකෙදි වෙලාවක් සෙට් කරගන්න පුලුවන්"
"රායිට්..... අපිට ප්‍රොජෙක්ට් එක.මං ආසිරියව ඇදන් එන්නම්..."
"වැඩේ හරිනෙ එහෙනම්...? "
තවත් වරක් ස්ථිර කරගැනීමෙන් පසු විද්‍යාගාරයට ගිය මා ආසිරිට පණිවිඩය දුන්නෙමි.

එතැන් පටන් අප බලා සිටියේ අවසාන කාල පරිඡ්ඡේදය එළඹෙන තුරුය.

No comments:

Post a Comment